විශේෂ පුවත්
Highlighter

 

හානිපූරණය යනු කුමක් ද?


මානව හිමිකම් හා මානුෂවාදී මැදිහත්වීම් යන සංදර්භය තුළ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස යම් හානියකින් පීඩාවට පත් වින්දිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා හානිපූරණයන් ප්‍රදානය කරනු ලබයි. නමුදු, ඇතැම් උල්ලංඝනයවීම් ප්‍රකෘතිමත් කළ නොහැකි ඒවා වන අතර, හානිපූරණයන් ලෙස ලබා දෙනු ලබන කිසිදු සහනයක් තුළින් ඔවුන් පෙර සිටි තත්ත්වයට ගෙන ආ නොහැකි බව ද පිළිගත යුතුය.

හානිපූරණය යනු සංක්‍රාන්තික යුක්තිය යන පුළුල් සංදර්භය තුළ හඳුනාගත් තවත් එක් පියවරක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇති පරිදි සංක්‍රාන්තික යුක්තිය යනු -

"වගවීම සහතික කිරීම, යුක්තිය ඉටු කිරීම මෙන්ම සංහිඳියාව ළඟා කර ගැනීම සඳහා මහා පරිමාණ අතීත අපයෝජන උරුමයක් ඇති කර ගැනීමට සමාජය ගත් උත්සාහය හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලීන් හා යාන්ත්‍රණයන්" වේ.

සංක්‍රාන්තික යුක්ති රෙජීමය තුළ පිළිගත් මූලික මූලධර්ම හතරකි: (අ) ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු බරපතල ලෙස මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීම් සඳහා චෝදනා ලද අපරාධකරුවන් විමර්ශනය කිරීමටත්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් සහ එහි දී වැරදිකරුවන්වන තැනැත්තන් හට දඬුවම් ලබා දීමටත් රාජ්‍යයකට ඇති බැඳියාව; (ආ) අතීත අපයෝජන හා අතුරුදහන් වූ තැනැත්තන්ගේ අවසාන ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමට ඇති අයිතිය; (ඇ) බරපතල ලෙස මානව හිමිකම් කඩ වූ හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනයවීම්වලට භාජනය වූ වින්දිතයන් හට හානිපූරණයන් ලබා ගැනීමට ඇති අයිතිය; (ඈ) විවිධ පියවර තුළින් එකී කෲරත්වයන් අනාගතයේදී නැවත ඇති නොවීම සඳහා වගබලා ගැනීමට රාජ්‍යයකට ඇති බැඳියාව.

"ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය දැඩි සේ උල්ලංඝනය වූ හා බරපතල ලෙස ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය වූ වින්දිතයන් සඳහා පිළියම් හා හානිපූරණයන් සඳහා ඇති අයිතිය පිළිබඳ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්" පිළිබඳ යෝජනා අංක 60/147, එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 2005 දෙසැම්බර් 16 දින සම්මත කරගන්නා ලදී.

2018 වසරේ පනත විසින් ශ්‍රී ලංකාවේදී හඳුන්වා දෙන ලද හානිපූරණ රෙජීමය විසින් පෙර පැවති යෝජනා ක්‍රම වැඩි දියුණු කර, එහි මැදිහත්වීම්වල විෂයපථය ප්‍රවර්ධනය කර, විශේෂයෙන්ම හානිපූරණයන් ප්‍රදානය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ජාතික සමඟිය හා සංහිඳියාව ළඟා කර ගැනීමත්, ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීමට වග බලා ගැනීම සහතික කිරීමත් බව හඳුනාගෙන ඇත.