විශේෂ පුවත්
Highlighter

ශ්‍රී ලංකාව තුල ඇති වූ ගැටුම් හේතුවෙන් සිදු වූ අහිමිවීම් සඳහා වන්දි ලබා දීමේ ඓතිහාසික දර්ශනය.


ගැටුම් හේතුවෙන් සිදු වූ හානි සඳහා හානිපූරණයන් හෝ වන්දි ප්‍රදානය කිරීමේ සංකල්පය ශ්‍රී ලංකාව විසින් මෑතක දී හඳුනාගත් සංසිද්ධියක් නොවේ.


1983 වර්ෂයේ ජූලි මස සිදු වූ නොසන්සුන්තාවන්හි පසුවිපාකයක් ලෙස හානියට පත් ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා එකී වසර තුලම රජය විසින් යාන්ත්‍රණයන් හඳුන්වා දීම මෙහි පළමු රාජ්‍ය මැදිහත් වීම ලෙස දැක්විය හැකිය. වර්ෂ 1983 දී අංක 1 දරන හදිසි නීති රෙගුලාසි යටතේ විපතට පත් දේපල හා කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය ස්ථාපිත කරන ලද අතර, එය මහජන ආරක්ෂණ පනතේ 5 වන වගන්තිය යටතේ සිදු කරන ලදී. එහි කාර්යභාරය වූයේ විපතට පත් ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා සහායවීමක් ලෙස වන්දි ලබා දීම හා හානියට පත් දේපල සඳහා වන්දි ප්‍රදානය කිරීමත්, ජීවනෝපාය සහාය අවශ්‍ය වූවන් හට ණය යෝජනා ක්‍රම මඟින් සහන සැලසීමත් වේ. අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුකළ ඉල්ලීම් පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව තුවාල වූ හා මියගිය තැනැත්තන් හට ද වන්දි ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව, "දේපල හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය" යනු හදිසි නීති රෙගුලාසි යටතේ ස්ථාපිත කරන ලද තාවකාලික යාන්ත්‍රණයක් වූවත් එය සාර්ථක වූ හෙයින් වසර කිහිපයකට පසුව 1987 අංක 29 දරන තැනැත්තන්, දේපල හා කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය (පුනරුත්ථාපන අධිකාරිය) ලෙස පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථිර රාජ්‍ය ආයතනයක් ලෙස පිහිටුවන ලදී.


"පුනරුත්ථාපන අධිකාරිය" ශ්‍රී ලංකාවේ ඇති වූ කැරලි හා අර්බුධ හේතුවෙන් ශාරීරිකව පීඩා විඳි තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා සහාය ලබා දීම වෙනුවෙන් බලගන්වා තිබූ අතර, තව ද පෙර කී සිදුවීම් හේතුවෙන් හානියට පත් දේපලවල හිමිකරුවන් හට වන්දි ලබා දීම හා එකී දේපල නැවත අළුත්වැඩියා කිරීම හා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ද සහාය ලබාදෙන ලදී. ඒ අනුව, පුනරුත්ථාපන අධිකාරිය විසින් නිශ්චිත වන්දි හා ණය යෝජනා ක්‍රම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ක්‍රියාත්මක කර ඇත.


වාර්ගික ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වූවන්ගේ ගැටළුවලට සහන සැලසීම සඳහා මෙසේ රජය විසින් විශේෂ සහන යෝජනා ක්‍රම දිගින් දිගටම හඳුන්වා දී ඇත. ඒ අනුව, විපතට පත් තැනැත්තන් සඳහා වන්දි, මූල්‍ය හා වෙනත් සහන ලබා දීම සඳහා අදාල වන නියමයන් හා කොන්දේසි ඇතුළත් චක්‍රලේඛ කිහිපයක්ම රජය විසින් 1987 වර්ෂයේ සිට නිකුත් කර ඇත. උතුරු නැගෙනහිර පැවති ත්‍රස්තවාදී ක්‍රියා අතරතුර සිදු වූ සිදුවීම්වලට පරිබාහිරව, එක් එක් කාලවල විවිධ ප්‍රදේශයන්හි සිදු වූ නොසන්සුන්තා හේතුකොට ගෙන ඇති වූ වෙනත් අහඹු සිදුවීම් ද විය. ඒ අනුව, බේරුවල (2006 හා 2014), අළුත්ගම (2014), ගිංතොට (2017), අම්පාර (2018), දිගන හා තෙල්දෙණිය (2018) හා විශේෂයෙන්ම මෑතකදී සිදු වූ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය (2019, අප්‍රේල්) සහ එහි පසුවිපාකයක් ලෙස සිදු වූ සිදුවීම් (2019, මැයි) ආදී විශේෂිත සිදුවීම්වලින් පීඩාවට පත් තැනැත්තන් හට ලබා දීම සඳහා වන විශේෂ සහන ක්‍රමවේදයන් ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මානව හිමිකම් උල්ලංඝනයවීම් වූ ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වූ රටවල් සඳහා වන සංක්‍රාන්තික යුක්තිය සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් රෙජීමය විසින් ගෝලීය සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පරිණාමය වීමේ දී නව ප්‍රවේශයක් ලබා ගන්නා ලදී. මෙකී රටවල් සාමාන්‍ය අධිකරණ පද්ධතියක් තුළින් මානව හිමිකම් උල්ලංඝනවීම් සඳහා පිලියම් යෙදීමේ දී අර්ථවත් ලෙස පිලියම් යෙදීමට නොහැකි වූ බොහෝ අවස්ථාවන් ආවරණය කිරීම සංක්‍රාන්තික යුක්තිය ලෙස හඳුන්වා දී ඇත. සරලව කිවහොත්, සංක්‍රාන්තික යුක්තිය සඳහා වන කැපවීම යනු අතීතය සමඟ ගණුදෙනු කිරීමට වන කැපවීමකි.


සංක්‍රාන්තික යුක්ති රෙජීමය තුළ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්මයන්ට අනුකූලව සම්මත කරගත් හානිපූරණයන් ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්ති 2018 නව ව්‍යවස්ථාව බලාත්මක කිරීම තුළින් හඳුන්වා දෙනු ලැබීය. මීට පෙර පැවති රජයන් විසින් අනුගමනය කරන ලද වන්දි ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්තිය පුළුල් කරමින්, හානිපූරණයන් ප්‍රදානය කිරීම සඳහා ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකාව පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව මඟින් 2015 ඔක්තෝබර් මස දී සම්මත කර ඇති අතර, එකී ප්‍රතිපත්තිය එම යෝජනාවේ සඳහන් සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව සඳහා වන යෝජිත යාන්ත්‍රණයන් පිළිබඳ මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා 2016 ජනවාරි මස දී පත් කළ "සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය" විසින් ද වාර්තා කර තිබුණි.


2018 වසරේදී, 2018 අංක 34 දරන "හානිපූරණය සඳහා වන කාර්යාලය පනත" (හානිපූරණ පනත) පනවන ලද අතර, එකී පනත 2018 ඔක්තෝබර් මස 22 දින සිට බලාත්මක වේ. ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් පීඩාවට පත් තැනැත්තන් හට වන්දි හෝ හානිපූරණ රෙජීමයට අදාල කටයුතු සිදු කිරීම සඳහා රජය විසින් සම්මත කරගත් දෙවන ප්‍රඥප්තිය මෙයයි. හානිපූරණ පනත පීඩාවට පත් තැනැත්තන් හට මූල්‍යමය සහන ලබා දීමෙන් ඔබ්බට ගිය පනතකි. සහන ප්‍රදානය කිරීමේ පදනම හා සාර්ව මට්ටමේ අපේක්ෂාවන් මෙම නව පනතෙහි පැහැදිළිව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ නෛසර්ගික ගෞරවය සහ සමාන හා වෙනස් කළ නොහැකි මානව හිමිකම් පිළිගන්නා අතර, මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, සුරක්ෂිත කිරීම හා ඒවායේ ප්‍රගතිය සඳහා රාජ්‍යයේ වූ වගකීම පිළිගෙන ඇති බව හානිපූරණ පනතෙහි පූර්විකාවෙහි ද සඳහන් කර ඇත. එසේම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාවර වූ සඵලදායි ප්‍රතිකර්මයක් වශයෙන් පරිපූර්ණ හානිපූරණය කිරීමේ යෝජනා ක්‍රමයක් අනාගත පරපුර ඇතුළත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය හා ආරක්ෂාව උදෙසා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන බව ද එහි සඳහන් කර ඇත. ඒ නිසා හානිපූරණයන් නිර්මාණය කර ඇත්තේ වින්දිතයන් හට මූල්‍යමය සහන ලබා දීමට පමණක් නොව, සියලු වැසියන්ගේ සුබ සිද්ධිය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමෙහිලා වන ප්‍රතිසංධානයේ පුළුල් අරමුණ සඳහා දායකත්වය සපයන යාන්ත්‍රණයක් බව පිළිගෙන ඇත. එහෙයින්, මෙම නව පනත මඟින් අභිලාෂකාමී උසස් අරමුණක් දක්වා ඇත. මෙහි කෙටුම්පත හඳුන්වා දීමේ දී එවකට අග්‍රාමාත්‍යවරයා විසින් මෙසේ සඳහන් කර ඇත: "හානිපූරණය සඳහා වන කාර්යාලය කෙටුම්පත මෙරටේ සංහිඳියාව සුරක්ෂිත කිරීමෙහිලා අප විසින් සිදුකළ යෝජනාවන්ගෙන් එකක් වේ."


හානිපූරණ පනත මඟින් උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් හේතුවෙන් හෝ එහි පසුවිපාකයක් ලෙස අහිමිවීමකින් (එනම්, තුවාල, මරණ හා දේපල හානිවීම්) පීඩා විඳි, හෝ දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම් හේතුවෙන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් වීමක් හේතුවෙන් පීඩාවට පත් වූ තැනැත්තන් හට හානිපූරණයන් ලබා දීම සඳහා විධිවිධාන සලසා ඇත. ඒ මඟින් අතීත සේම අනාගත සිදුවීම් වෙනුවෙන් කටයුතු කිරීමට හැකි රෙජීමයක් ස්ථාපනය කර ඇත.


ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීමත් සමඟ 2019 වසරේ අප්‍රේල් මස සිට නව හානිපූරණය සඳහා වන කාර්යාලයේ කටයුතු ආරම්භ විය. හානිපූරණය සඳහා වන කාර්යාලය පනත මඟින් 1987 පුනරුත්ථාපන අධිකාරී පනත අවලංගු කොට පුනරුත්ථාපන අධිකාරිය අහෝසි කරන ලදී.


පුනරුත්ථාපන අධිකාරී පනත විසින් තැනැත්තන් හට මූල්‍යමය වන්දි ප්‍රදානය කිරීම සඳහා විධිවිධාන සලසා තිබූ අතර, හානිපූරණය සඳහා වන කාර්යාලය පනත ඉන් ඔබ්බට ගොස් තැනැත්තන් හට සහන සලසනු ලැබේ. ඒ මඟින් මනෝසාමාජීය සහාය හා ප්‍රජාවන් හට පාසල්, මාර්ග, වෙළඳපොල සඳහා ප්‍රවේශ ආදී පහසුකම් මෙන්ම මහජන අධ්‍යාපනය, ළමුන්, තරුණ ප්‍රජාව, කාන්තාවන් හා අබාධ සහිත තැනැත්තන් පිළිබඳ වූ සුවිශේෂී ප්‍රතිපත්ති සම්පාදනය කර යෝග්‍ය අධිකාරීන් වෙත නිර්දේශ ලබා දීම ඇතුළුව නන් අයුරින් පුද්ගලයන් හට සහන සලසනු ලැබේ. පීඩාවට පත් තැනැත්තන්ගේ අවශ්‍යතා මට්ටම තක්සේරු කිරීමෙන් හා ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනංවා ගැනීමට හා පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට උපකාරී වන අර්ථවත් සහන ලබා දීමෙන් එකී පීඩාවට පත් තැනැත්තන් මුහුණ පාන සැබෑ ගැටළුවලට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය ද හඳුනාගෙන ඇත. මේ මඟින් තනි හා සාමූහික හානිපූරණයන් සඳහා විධිවිධාන සලසයි.


විශේෂයෙන්ම, වෙනස්කොට සැලකීම, වින්දිත කේන්ද්‍රීයතාවය හා සර්ව සාධාරණත්වය සඳහා වන ප්‍රතිපත්ති සහ කාන්තාවන්, ළමුන් හා ආබාධ සහිත තැනැත්තන්ගේ විශේෂ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් මඟ පෙන්වීම සඳහා හානිපූරණ පනත මඟින් ව්‍යවස්ථාපිත විධිවිධාන සලසා ඇත. මේ අයුරින් අර්ථවත් සහන සැපයීම තුළින් අප ජනතාව අතර සංහිඳියාව සඳහා දායකත්වය සපයා ගැනීමට කටයුතු සැලසෙන බව ද පිළිගන්නා කරුණකි.