විශේෂ පුවත්
Highlighter

හානිපූරණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයින්

Chairperson

ධාරා විජයතිලක මහත්මිය, නීතීඥ, (නීතිවේදී, ලංකා) සභාපතිනි

(2022 ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පත්වීම් ලබා ඇත)

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ වසර හතළිහකට අධික කාලයක් සේවය කර ඇති නීතීඥ ධාරා විජයතිලක මහත්මිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත්වීමත් සමඟ (1994), කැබිනට් අමාත්‍යාංශයක ලේකම්ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙස ද ගෞරවයට පාත්‍ර විය. එසේම, එතුමිය සැලසුම් ක්‍රියාවට නැංවීමේ අමාත්‍යාංශයේ හා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ද ලේකම්ධූරය හොබවා ඇත. තවද, ධාරා විජයතිලක මහත්මිය ශ්‍රී ලංකා නීතී කොමිසමෙහි සාමාජිකාවක ලෙසත්, කාන්තාවන් පිළිබඳ වූ ජාතික කොමිසමෙහි සාමාජිකාවක ලෙසත් කටයුතු කර ඇත. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟම ඇය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරිණිය බවට පත් විය (2016 ජනවාරි - 2020). එසේම, විජේතිලක මහත්මිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද (2015 අප්‍රේල් - 2019) කටයුතු කළ අතර, හානිපූරණය සඳහා වන කාර්යාලයේ සභාපතිනිය ලෙස රාජකාරි භාරගැනීම සඳහා එකී තනතුරෙන් ඉල්ලා අස් විය. එසේම, එතුමිය සම්පත් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂකවරියක් ලෙස ද, නියෝජ්‍ය සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ සමයේදී එතුමිය නීති ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල පුරමින් ඒවාට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව සඳහා වන නව සංශෝධන හඳුන්වා දෙමින් (1995 වර්ෂයේ දී) විජයතිලක මහත්මිය විසින් නීති ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය අතිමහත් වේ. එසේම 2005 වසරේදී හඳුන්වා දුන් ගෘහස්ථ හිංසනය පිටුදැකීමේ පනත සම්පාදනයේදී ද එතුමිය මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. තව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැකීමේ සම්මේලනය වෙත ශ්‍රී ලංකාවේ වාර්තාවන් ඉදිරිපත් කිරීමේ දී කිහිප අවස්ථාවකදීම එතුමිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම වාර්තා වෙනුවෙන් පෙනීසිට ඇත. විජයතිලක මහත්මිය මානව හිමිකම් සඳහා වන ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සැලැස්ම 2009-2010 සකස් කළ පාලන කමිටුවෙහි ද කටයුතු කර ඇති අතර, එතුමිය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටුව ක්‍රියාත්මක වීම පිළිබඳ අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවෙහි නියෝජ්‍ය සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත.

 

 

 5

මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා - සාමාජික.

(2022 ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පත්වීම් ලබා ඇත) 

මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වර්ෂ 1971 දී කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායේ දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත් කර ඇත. මේජර් ජනරාල් ප්‍රනාන්දු මහතා පාකිස්තානයේ ක්වේටා හි අණ දෙන සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. ඔහු යුධ හමුදාවේ සේවය කරන සමයේ දී අණ දෙන, මාණ්ඩලික සහ කාර්ය සම්පාදන නිළධාරී ඇතුළු තනතුරු රැසක්ම හොබවා ඇත. ප්‍රනාන්දු මහතා 2005 වසරේ දී මේජර් ජනරාල් ධූරයට උසස් කෙරුණු අතර, 2015 වසරේ දී ඔහු සේවයෙන් විශ්‍රාම යන තෙක්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිළධාරීවරයා ලෙස කටයුතු කර ඇත.

මේජර් ජනරාල් ප්‍රනාන්දු මහතා මේ වන විට වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටී. තව ද, ඔහු දක්ෂ ක්‍රීඩකයකු වන අතර, ක්‍රීඩාව කෙරෙහි ඔහුගේ ඇති ඇල්ම නිසාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කරමින් සිටී. මේජර් ජනරාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලන අංශයේ ද රාජකාරි කටයුතු කරන අතර, මේ වන විට ශ්‍රී ලංකා මලලක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටී.

 

Dr.Mubarak

 

ආචාර්ය ඒ.එම්. මුබාරක් මහතා - BSC(SL), PhD (Cantab), FICHEMC, FNASSL - සාමාජික

(2022 ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා ඇත) 

පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභියෙකු වන ආචාර්ය ඒ.එම්. මුබාරක් මහතා ඔහුගේ ප්‍රථම උපාධිය (විද්‍යා උපාධි) කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇති අතර, අනතුරුව එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වූ ආචාර්ය මුබාරක් මහතාට කාර්මික, පර්යේෂණ සහ සංවර්ධන කලමනාකරණය පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් ඇත. එතුමා මේ වන විට ශ්‍රී ලංකා නැනෝතාක්ෂණ ආයතනයේ පර්යේෂණ හා නවොත්පාදන ප්‍රධානී ලෙස කටයුතු කරයි.

ජාතික විද්‍යා පදනමෙහි අධ්‍යක්ෂ ධූරය ද හොබවා ඇති මුබාරක් මහතා තැනැත්තන්, දේපල සහ කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය, ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිසම, කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන ආයතන රැසකම අධ්‍යක්ෂ මණ්ඩල සහ සභාවන්හි සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. එසේම, ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සභාපති, ජාතික විද්‍යා ඇකඩමියේ සභාපති ලෙස ද එතුමා කටයුතු කොට ඇත. ආචාර්ය මුබාරක් මහතා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

එසේම එතුමා මේ වනවිට යූනියන් කෙමිකල්ස් පෞද්ගලික සමාගමේ වත්මන් සභාපති ලෙස සහ E.B. ක්‍රීසි සහ සමාගමේ ද, ලංකෙම් ලංකා පෞද්ගලික ආයතනයේ ද අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරමින් සිටී.

 

Rasika

ඩී.ආර්.ආර්.අයි. දිසානායක මහතා - නීතීඥ - සාමාජික

(2022 ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා ඇත) 

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු වන රසික දිසානායක මහතා, 1999 වසරේදී කණිෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ඔහුගේ වෘත්තීය දිවි ගමන ආරම්භ කර ඇත. අනෙකුත් කණිෂ්ඨ උපදේශකවරුන්ට සහ ආධුනිකයින්ට සීමාවාසික පුහුණු අවස්ථා සලසමින් 2005 වසරේදී දිසානායක මහතා ඔහුගේම නීති සමාගමක් ස්ථාපිත කරන ලදී. දිසානායක මහතාගේ ප්‍රායෝගික ක්ෂේත්‍රයන් තුළ ව්‍යවස්ථාදායක සහ පාලන මෙන්ම සිවිල් සහ සමාගම් නීතිය ඇතුළත් ය.

තවද එතුමා 2012/2013 වර්ෂයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද තේරී පත් විය. එතුමා ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලදුව නීතී ප්‍රතිසංස්කරණ උපදේශක කමිටු කිහිපයකම මේ වන විට කටයුතු කරමින් සිටින අතර, කුලී නීතිය, සිවිල් නීතී ප්‍රතිසංස්කරණ උප කමිටුව, පූර්ව අත්හදා බැලීමේ පටිපාටිය සමාලෝචනය කිරීමේ කමිටුව, කුඩා හිමිකම් උසාවිය යන කමිටු කිහිපයකම කටයුතු කරමින් සිටී. එසේම දිසානායක මහතා ණය ප්‍රතිව්‍යූහගතකරණ ආඥාපනත සමාලෝචනය කිරීමේ උපදේශක කමිටුවෙහි සභාපති ලෙස ද කටයුතු කරමින් සිටී.

එසේම, රසික දිසානායක මහතා නීති උපදේශක කොමිසමෙහි සාමාජිකයකු (2015-2017) හා ශ්‍රී ලංකා වාණිජ සමථ කේන්ද්‍රයේ කලමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු (2016-2017) වශයෙන් කටයුතු කරන ලදී. මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට පූර්ණ වශයෙන් අයත්වන ආයතනයක් වන සීමා සහිත ජාතික ධන සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද (2018-2019) කටයුතු කර ඇති එතුමා, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙහි ද අධ්‍යක්ෂවරයෙක් ලෙස (2006-2007) කටයුතු කර ඇත.

 

 priya

ප්‍රියා සිවගනනාතන් මහත්මිය - නීතීඥ - සාමාජික

(2022 ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා ඇත)

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරියක් ලෙස කටයුතු කරන ප්‍රියා සිවගනනාතන් මහත්මිය ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතී   උපාධිධාරීවරියකි. එසේම, එතුමිය බැරිස්ටර්වරියක සහ ගරු ලින්කන් ඉන් සමාජයේ (Honorable Society of Lincoln Inn) සාමාජිකාකවක් ලෙස ද කටයුතු කර යි. 2008   වසරේ සිට ජූලියස් සහ ක්‍රීසි නීතිඥ සහ නොතාරිස් සමාගමේ කොටස්කාරියක වන සිවගනනාතන් මහත්මිය බැංකු හා මුල්‍ය මෙන්ම ගුවන්යානා බදු දීම පිළිබඳ නීති ක්ෂේත්‍රයන්   සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරනු ලබ යි.

 කුඩා කල ලිංගික හිංසනයන්ට ගොදුරු වූ දැනට නව යොවුන් වියේ පසුවන වින්දිතයන්ට සහාය ලබා දෙන ලාභ නොලබන සංවිධානයක් වන එමර්ජ් ලංකා පදනමේ උපදේශක   සභාවේ ද සාමාජිකත්වය දරන මෙතුමිය ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳ වැඩසටහන් සඳහා තම ක්‍රියාකාරී දායකත්වය ලබා දෙමින් සිටී.

 

 

PHOTO 2022 10 11 14 20 58

එස්. එල්. එම්. හසීම් මහතා - අධ්‍යක්ෂ ජනරාල්

1988 වසරේ දී ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ හසීම් මහතා ගුරු වෘත්තීයේ නියැලී සිටිය දීම 1991 වර්ෂයේ දී විවෘත තරඟ විභාගයක් සමත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. එතුමා අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පොතුවිල්, කාත්තන්කුඩි සහ නින්තවූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ප්‍රාදේශීය ලේකම් වශයෙන් වසර 15 ක කාලයක් සේවය කොට ඇත. තවද, 1992-1993 සහ 1999-2006 යන වසරවල දී හසීම් මහතා ප්‍රාදේශීය ලේකම්වරයාට අදාල රාජකාරි කටයුතුවලට අමතරව, පොතුවිල් සහ නින්තවූර් යන ප්‍රාදේශීය සභාවන්හි විශේෂ කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර ඇත. මේ කාලය අතරතුර දී හසීම් මහතා එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු සඳහා කැපී පෙනෙන ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇත.


හසීම් මහතා 2006 වසරේ දී නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යාංශයේත්, අනතුරුව 2021 නොවැම්බර් මස එතුමා විශ්‍රාම යනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි සේවය කර ඇත. එමෙන්ම එතුමා ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සේවය කරන අතරතුර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ආධාර කරනු ලැබූ ව්‍යාපෘතීන් වන නීතිය නීතිය ශක්තිමක් කිරීම බලාත්මක කිරීම, නීතියට ප්‍රවේශයක් සහ සමාජ ඒකාබද්ධතා ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘතීන්හි ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව, හසීම් මහතා සංචාරක අමාත්‍යාංශයෙහි සේවය කරන අතරතුර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයෙහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි ද (2019-2020) කටයුතු කර ඇත.