විශේෂ පුවත්
Highlighter

හානිපූරණය සඳහා වන කාර්යාලයේ නිල වෙබ්අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු.

හානිපූරණය සඳහා වන කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ හානිපූරණ රෙජීමය කළමනාකරණය කිරීම හා අර්බුද හේතුවෙන් පීඩාවට පත් වූවන් හට හානිපුරණයන් ප්‍රදානය කරනු වස් 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත මඟින් ස්ථාපිත කරනු ලැබූ ස්වාධීන ආයතනයකි. පනතේ පූර්විකාවේ දක්වා ඇති පරිදි මෙම පනත පැනවීම සඳහා වන මූලකාරණය නම් -

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආවේණික ගරුත්වය හා සමාන සහ අහිමි කළ නොහැකි මානව හිමිකම් සහ මේ අයිතීන්ට ගරු කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන රාජ්‍ය වගකීම පිළිගන්නා හෙයින් ද:

සියලු ශ්‍රී ලාංකික්යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාවර වූ සඵලදායී ප්‍රතිකර්මයක් වශයෙන් පරිපූරණ හානිපූරණ යෝජනා ක්‍රමයක් අනාගත පරපුර ඇතුළත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය හා ආරක්ෂාව උදෙසා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන හෙයින් ද:"

වර්ෂ 1983 සිට උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් හේතුවෙන් හෝ එහි ප්‍රතිඵලයන් ලෙස පීඩාවට පත් තැනැත්තන්ට සිදු වූ අහිමි වීම් හෝ හානි වීම් හේතුවෙන් වූ චිත්ත පීඩාවන් අවම කර ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්වීම් අවශ්‍ය බව පිළිගැනීම මත හානිපූරණ රෙජීමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ක්‍රියාත්මක වේ. ඉන් අනතුරුව වරින් වර සිදු වූ නොසන්සුන්තා හේතුවෙන් පීඩාවට පත් තැනැත්තන් ද මේ යටතේ සහන ලැබීම සඳහා සුදුසු වේ. මේ දක්වා එවැනි සිදුවීම් අටක් සිදු වී ඇත.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් උදෙසා පිළියම් යෙදීමක් ලෙස හානිපූරණයන් ප්‍රදානය කිරීම විශ්වීය වශයෙන් පිළිගත් පියවරක් වන නමුත් ඇතැම් උල්ලංඝනයවීම් ප්‍රකෘතිමත් කළ නොහැකි ඒවා වන අතර හානිපූරණයන් ලෙස ලබා දෙනු ලබන කිසිදු සහනයකින් එකී පීඩා විඳි තැනැත්තන් ඔවුන් පෙර සිටි තත්ත්වයට ගෙන ආ නොහැකි බව ද පිළිගත යුතු කරුණකි.

ශ්‍රී ලංකාව තුළ ගැටුම් හේතුවෙන් පීඩා විඳි තැනැත්තන් හට හානිපූරණයන් ප්‍රදානය කිරීමේ ප්‍රවේශය වන්නේ හානිපූරණයන් ලෙස මූල්‍යමය සහන ප්‍රදානය පමණක් නොව, ගැටුම් හේතුවෙන් පීඩාවට පත් තැනැත්තන් හට තවදුරටත් සහන ලබා දිය හැකි ආකාරයේ අනෙකුත් මැදිහත්වීම් ද ප්‍රදානය කිරීමට අධිකාරී බලයක් ඇති හානිපූරණය සඳහා වන කාර්යාලය නම් ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය ස්ථාපිත කිරීමයි. අදාල වර්ෂ 2018 පනත මඟින් හඳුන්වා දෙනු ලැබූ හානිපූරණ රෙජීමය විසින් පෙර පැවති යෝජනා ක්‍රම වැඩිදියුණු කර ඇති අතර, විශේෂයෙන්ම හානිපූරණයන් ප්‍රදානය කිරීමේ මූලිකම අරමුණ ජාතික සමඟිය හා සංහිඳියාව ළඟා කර ගැනීම සහ පෙර සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නැවත ඇති නොවීමට වග බලා ගැනීම බව හඳුනාගෙන ඇත.

ව්‍යවස්ථාව විසින් සවිගන්වනු ලැබූ පරිපූර්ණ නීතිමය රෙජීමයක් හඳුන්වා දීම තුළින් ගැටුම් හේතුවෙන් පීඩාවට පත් තැනැත්තන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එකඟවීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ කැපවීම එනයින් විදහා දක්වනු ලැබේ. හානිපූරණයන් ලැබීම සඳහා හිමිකම් ලබන්නේ කුමන ආකාරයේ ගැටුම් කාණ්ඩයන් යන්න ද අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් සඳහා ද අදාල කර ගත හැකි වන සේ පොදු කාණ්ඩයන් සඳහන් කිරීම තුළින් විශේෂයෙන්ම "උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් වශයෙන්, හෝ ඊට සම්බන්ධව හෝ එහි පසුවිපාකයක් ලෙස" ලෙස සඳහන් කිරිම තුළින් එය මනාව පිළිඹිබු වේ.

පනතෙහි විධිවිධානයන්හි සහ හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් සකස් කරන ලදුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලද හානිපූරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්හි කාන්තාවන්, ළමුන් හා ආබාධ සහිත තැනැත්තන් ඇතුළු අනාරක්ෂිත පීඩාවට පත් තැනැත්තන් හට විශේෂ අවධාරණයක් යොමු කරමින් හානිපූරණයන් ප්‍රදානය කිරීම සඳහා යෝග්‍ය වන ප්‍රතිපත්ති දක්වා ඇත. පනතෙහි විධිවිධාන ප්‍රශ්න හා පිළිතුරු ලේඛනයෙහි පැහැදිළි කර ඇත.